පාන්දර යාමයෙහි,
සිතෙහි සමාධිය
තියුණු විය.
ගලා හැලෙන
දිය දහරා...
සිතුවිලි...
එකින් එක...
එකින් එක...
උපදනා
උපදනා
තන්හි
මොහොතක් නොරඳාම...
නැතිව යන අපූරුව.
මෙවන් අසිරියක්!
උප්පාද වය ධම්මිනෝ
ආලෝකය පහළ විණි.
ප්‍රඥ්ඥාව පහළ විණි.
ආලෝකෝ උදපාදි.
ප්‍රඥ්ඥා උදපාදි.
නිවීයන පහනක දැල්ලක්සේ,
මගේ
සිත
නිවනෙන්
නිවී
සැනහිනි.
ප්‍රීතිමත්
සැහැල්ලු
නිවුනු
සිතින්
හීලට වැඩියෙමි.
කිරි බතක්...
වැව් මාලු බොරයක්...
නිවන සමරන්නට හොඳ හීලක්.
ලොකුම
කෑලි හතරක්ම
ලොකු උන්නාන්සේට.
තවත් තුනක්
දෙවෙනියට,
දෙකක් සුමෙධට.
මා ලඟට එන
කෑලි නැති හොදි බඳුන.
"හොද්දත් හොඳයි.
බෙදාගෙන වළඳන්න රාහුල!"
ඉහලට...
පහලට...
යන හුස්මක් අතරින්...
උදර කුහරෙන් පපුව මැද්දට යමක් හිරවිණි.
ලොකු තැනට
හොදි හොඳ නම්,
හොදි නොකා,
මාලු කෑලි
හතරක්ම බෙදාගත්තේ?
පෙරේතයා...
ආත්මාර්ථකාමී බඩජහරියා...
හොඳම ටික හූරාකන...!
හැමදාම
ඔහොමමයි.
පිටින් ආ මට,
හොදි ටිකක් විතරක්
ලුණුත් නැති
කිරිබතුත්...
මාලු හොදි
ඩිංගකුත්...
මදැයි
සමරන්න සිතුවා
මගෙ නිවන...
මගෙ නිවන...!!!
ඕ... දෙවියනි...
මගෙ නිවන...
(අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ දේශනයක් ඇසුරිනි )