සැර මාමා

"මුලු ත්‍රිපිටකයම මොකටද? ප්‍රයොජනයට ගන්නවානම් සතිපට්ටන සූත්‍රය විතරයි උවමනා වෙන්නේ!"
ඇත තිබූ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් මාලාවෙහි දීඝ නිකායෙහි පළමු කාණ්ඩය දෙස හිස් බල්මක් හෙලමින් මම කීමි.

"ඒ උනත් ඔක්කොම පොත් ටික තියෙනවනම්... මම කියන්නේ... හතලිස් ගානම... එක හරියට... වටිනවා...
මමා පොත් කැබිනෙට්ටුවේ ඉහලම තට්ටුව දෙස බලමින් පැවසුවේ අපේක්ෂා සහිත හඬකිනි. එම තට්ටුවේ තිබුනු එකම පොත වූයේ මා පෙර සඳහන් කළ පොතයි. පොත් පිරුනු විශාල කැබිනෙට්ටු දහයකින් පමණ සම්න්විත වූ බාප්පාගේ පෞද්ගලික පුස්තකාලයේ මෙම තට්ටුව වෙන්කර ඇත්තේ ත්‍රිපිටකය සඳහා විය හැකි බව මට සිතුණි.
"ඔය පොත කිහිප වාරයක්ම කියවන්න ගත්තා!... හරි වෙහෙසයි! මට දැන් කියවන්න හරි අමාරුයි! පොතක පිටුවක් කියවලා ඉවර වෙනකොට අන්තිමට කියවපු පිටුව අමතක වෙලා බොඳ වෙලා වගේ යනවා."

මාමා එසේ කියන්නේ වයස නිසා ඇතිවන දුර්වල තත්වයක් නිසා නොවේ. ඔහු බැංකු සේවයෙන් විශ්‍රාම ගියේ මේ වසරේදීය. ඒ ඔහුගේ රෝගී තත්වය නිසාය.

මාමා සිය දින පොත පෙරළයි. ඔහුගේ දෑස කණ්ණාඩි කුට්ටම තුලින් දින පොත සිසාරා යමක් සොයනු මට පෙනෙයි.

උසට ගැලපෙන මහතකින් යුත් මාමාගේ මුහුණ තරමක් තරබාරුය. අඩක් සුදු වී ගිය කෙස් කළඹ මනාව පසෙකට පීරා ඇත. විශාල කණ්ණාඩි කුට්ටම තුලින් ඔහුගෙ දෑස පෙන්වන්නේ විඩාපත් බවකි.

මම මාමා ලෙස අමතුවත් ඔහු මට බප්පා වන්නේ තරමක් දුර නෑකමකිනි. පවුලේ සැම දෙනා මාමා ගැන සඳහන් කරන විට යොදන විශේෂණ සහිත නම සැර මාමාය. මාමා මා දන්නා අනෙක් ඥාතීන් කිසිවෙකු හා සම නොවීය. මා කුඩා දරුවකුව සිටියදී මා මාමා දුටුයේ නමටම ගැලපෙන ගරු ගාම්භීර කෙනෙකු හැටියටය. මගේ දෙමව්පියෝ ඇතුලු පවුලේ අනෙක් ඥාතීන්ගෙ හැසිරීම එයට රුකුල් දෙන්නක් විය. අප වසරක් පාසා සිංහල අවුරුදු කාලයට මාමාගේ ගෙදර ගිය බව මට මතක ඇත. නමුත්, මෑතක් වන තුරුම ඔහු ගැන මා නොදැන සිටියෙමි.

ඔහු කලා අංශයෙන් උපධිය හදාරා බැංකු රකියාවට එළැඹ විධායක නිලධාරියකු ලෙස බොහෝ කලක් රාජකාරි කළ අ‍යෙකි. මාමාටත් නැන්දාටත් දරුවන් නැත. රැකියාවෙන් ලද කුදු මහත් විවේකයම පොත පත හා ගත කිරීම මාමාගේ පිලිවෙළ වූ බව මා දැන ගත්තේ පසුවය. එක්තරා දාන දිනයකදී ඔහු මුණ ගැසීම මෙතෙක් කීකරු දරුවකු ලෙස මාමා ඉදිරියේ හැසිරුණු මට එදින සිදුවීම ඔහු කෙරෙහි මගේ පිළිවෙත වෙනස් වීමට ප්‍රධානතම හේතුව විය.


ඒ මා විශ්ව විද්‍යාලය පටන් ගන්නා තුරු නිවසට වී සිටි අවධියයි. අපේ සීයා මාස කීපයක් ලෙඩ ඇඳෙහි සිට අවසන් හුස්ම හෙලූයේ ලොකු අම්මාගේ නිවසේදීය. සීයාගේ අවසාන කටයුතු අවසන් වීමෙන් පසු එළැඹුනු තුන්මාසයේ දානය දිනයේදී සැර මාමාද පැමිණ සිටියේය.

අත්‍යාවශ්‍ය කරුණක් සඳහා යෑමට තිබුණ නිසා මා එහි යන විට තරමක් දවල් වී තිබුණි. දානය සඳහා පැමිණි භික්ෂූන්වහන්සේලා නැවත පන්සලටවැඩම වීම සිදුවිය. සැර මාමා මා හමුවූයේ බොහෝ කලකට පසුවය.

"ඔයා විශ්ව විද්‍යාලයට තේරුණා කියලා අපට ආරංචි උනා. අපිට හරි සතුටුයි." මාමා පැවසූයේ ගාම්භීර කටහඬකිනි.
"ඉතින් මේ දවස් වල මොකද කරන්නෙ?"

"මම ඔහේ ඉන්නවා! පොත් කියවනවා... කවි ලියනවා... චිත්‍රපටි බලනවා...":

"ෂා හරි හොඳයි." මාමාගේ දෑස දීප්තිමත් විය. එළිමහනෙහි අසුනක වාඩි වෙමින් මාහටද අසුනක් පෙන්වීය.

"කියවලා තියෙනවද... තිබ්බත මළ පොත?"
"තිබ්බත මළ පොත...!!!" එවැන්නක් ගැන අසාවත් නොතිබූ මම හිස වැනුවෙමි.

"ශාස්ත්‍රීය පොතපතත් කියවන්න ඕනෑ..! වැඩිපුර කියවන්නේ නවකතා වගේ.." මාමා ගේ සිහින් සිනහව සරදමක්ද?

නවකතා කියවීම විශේෂ හෝ අවශේෂ දෙයක් ලෙස මා නොසැලකුවත් සුලභ නවකතා කියවන්නේ බාල රසවින්දනයක් ඇති අය යැයි උගත් සමාජයේ පිළිගැනීම බව මගේ සිතුවිල්ල විය. එහෙයින් මාමා මාද ඒ ගොඩට ඇද දැමීමට ගත් උත්සාහයට මම විරුද්ධ වීමි.

"ජීවිතය ගැන සමහර ශස්ත්‍රීය පොතපතටත් වඩා ගැඹුරින් ලියවුනු නවකතාත් තියෙනවා නේද? අනික, මම නම් වැඩියෙන්ම කැමති කෙටිකතා කියවන්න."

මාමා මා දෙස බලා සිටියි. මම මගේ තර්කය පැහැදිලි කිරීමට උත්සාහ ගතිමි.

"දැන් බලන්න සරත්චන්ද්‍රගේ 'මලවුන්ගේ' පොත් දෙක...! ආදරය... ප්‍රේමය කියන වචනා දෙක ඔය පොත් දෙකේ කොතනකවත් හොයාගන්න පුලුවන්ද...? නමුත්, මම කියවලා තියෙන හොඳම ආදර කතාව තමා ඒ."

"හිහ්... හිහ්...!" මාමාගේ සරදම් සිනහව මා කුප්පන්නක් විය. නමුත් කතාව මඳකට නැවතුනේ ලොකු අම්මාගේ ආරාධනයෙන් අප දෙදෙනාම දිවා ආහරයට එක්වූ නිසාය.

දානය සඳහා මාළුද පිළියෙළ බී තිබුණි. මළු තසිම දෙස බලා
"මම නම් මාළු මස් බිත්තර මොකුත් කන්නේ නැහැ. අඩුම ගානේ උම්බලකඩ කෑල්ලක් වත කන්නේ නැහැ." මාමා පවසන්නේ අවට සිටි අය වෙතද හැරෙමිනි. ආඩම්බරයෙනි.

"එළවළු විතරක් ආහරයට ගත්තාම නිරෝගීව ඉන්න පුළුවන්"

දිවා අහාරයෙන් හා රසවත් අතුරුපසින් පසුව පැමිණි පිරිස තැනින් තැනට වී අගිය තොරතුරු කතාබහ කරන්නට විය.

කෙමෙන් තරුණ වියට එළඹෙත්ම කුඩා වියේදී මෙන් නොව පවුලේ සමීප නෑ හිත මිතුරන් අතර දී තනිවන ස්වභාවයක් මාහට දැනෙන්නට විය. සමාජය සහ පොත පත අසුරු කිරීමෙන්ද ඒ ඇසුරින් සිතීමෙන් වැඩුනු මාහට සුහද සතුටු සාමීචියෙන් එහාට යන කථාඅබහක් සඳහා සුදුස්සෙකු හමු නොවීම මගෙ කණස්සල්ලට හේතු විය. මට බොහෝ ඥාති සොහොයුරන් සොහොයුරියන් සිටියද ඒ එකෙකුදු සමාජය, සාහිත්‍ය හෝ විද්‍යාව ගැන උනන්දුවක් තිබූවුන් නොවූහ. ඔවුන් සමග මා අශාකල පොදු මාතෘකාවක් මතුකිරීම වනාහී කිසිකලකදී සිදුනොවුනකි.

සැර මාමා සමඟ පොත පත ගැන මගේ අදහස, විශේෂයෙන් අප කතා කරමින් සිටි මාතෘකාවට නැවත පිවිසෙන අදහසින් මම ඔහු සොය ගියෙමි.

සැර මාමා මෙවර කතාබහ ආරම්භ කලෙ චිත්‍රපටි ගැනය.

"බලලා තියෙනවාද... 'සිටිසෙන් කේන්' ?"
"ඔය ඒක බලලා තියෙන්න විදියක් නැහැ. ඒක හොයාගන්න ගොඩක් අමාරුයි. ඒක තමයි ලෝකයේ හදපු හොඳම චිත්‍රපටිය..!"

"හොඳම චිත්‍රපටිය!"
"දැන් කවුද ඒක හොඳම චිත්‍රපටිය කියලා කියන්නේ?" මාහට එවන්නක් විශ්වාස කල නොහැකිවිය.

මාමා හිස වැනුවේය. ඔහුගේ මුවඟට සිනාවක් නැඟුනි. දෑස දීප්තිමතියෙන් බැබළුනි. භාෂාවේ අකුරු නොදන්නා කොලු ගැටයකුට සංකීර්ණ ව්‍යාකරණ කියාදීම වැනි මොඩකමක් කරගත් භාෂා පණ්ඩිතයකු තමාගේ ක්‍රියාව දෙස හැරී බලා නඟන සිනාවකි ඒ. ඔහු හෝඩියේ සිටම පටන් ගත්තේය.

"ලොකයේ හරි ප්‍රසිද්ධ සිනමා සම්මාන උළෙලවල් තියෙනවා 'ඔස්කා', 'ගෝල්ඩන් ග්ලෝබ්', 'කාන්ස්' වගේ... අවුරුදු පතා මේවා පැවැත්වෙනවා. ඉතින් මේ අතරතුරේදි ලෝකයේ ප්‍රකට සිනමා විචාරකයෝ එකතුවෙලා ලෝකයේ නිර්මාණය වෙච්චි හොඳම චිත්‍රපටිය මොකක්ද කියලා සෙව්වා. අන්තිමට තේරුණේ 'සිටිසන් කේන්' කියන චිත්‍රපටිය. ඒක 1960 ගනන් වල හදපු එකක්."

ඔහුගේ විස්තරය මාසිත් නොගත්තේ එහි වූ මඳ විශ්වාස සහගත බව නිසාද? 60 දශකයේ තැනුනු කළු සුදු චිත්‍රපටියක් ලොව හොඳම චිත්‍රපටිය වන්නේ කෙසේද? නමුත් මම ප්‍රතිඋත්තර දීමෙන් වැලකුණෙමි.

නිහඬතාවයෙන් දිරි ගෙන බාප්පා නැවත කතාකරන්නට විය.

"මම මේ දවස්වල ජොත්ෂ්‍යය ඉගෙන ගන්නවා."

"පන්ති යනවාද?" මම ඇසුවෙමි.

"නැහැ නැහැ...!!! මම කොහොමත් ජොතිෂ්‍යය විද්‍යාව ගැන දැනගෙන හිටියේ. මම දැන් ස්වයං අධ්‍යනයක් කරනවා"

"ජොතිෂ්‍යය කියන්නේ විද්‍යාවක්ම නෙවෙයි. මිනිස්සුන් ගේ අත්දැකීම් සහ පරිකල්පනය උඩ ඉතිහාසය පුරාවට පෝෂණය වුනු ගණිත ක්‍රමයක්."

මම ජොතිෂ්‍යය ගැන මගේ අවංක අදහස් ප්‍රකාශ කලෙමි.

"අන්න ඔයාට වැරදිච්ච තැන! ජොතිෂ්‍යය කියන්නේ තාරකා විද්‍යාව සහ ගණිතය එකතුවෙන් හැදිච්ච උතුම් විද්‍යාවක්."

මම හිස සලා මගේ විරුද්ධත්වය ප්‍රකාශ කලෙමි.

"හරි ඔයා කියන්න ඔය ජොතිෂ්‍යය විශ්වාස කරනවාද නැද්ද කියලා?"

එය තරමක අපහසු ප්‍රශ්නයක් විය. මම කුඩාකල මගේ හඳහන බැලූ දෛවඥයෝ මා සිවිල් සේවයේ උසස් රැකියාවක් කරන බව අනාවැකි කොලවල දැක ඇත්තෙමි. මා කලා උපාධියට ඉගෙනීමට විශ්ව විද්‍යාලයට තේරුණේ ජොතිෂ්‍යය නිසා නොවන බවද මම තරයේ ඇදහූයෙමි. එහෙයින්ම මට ජොතිෂ්‍යය විශ්වාස කිරීමට අවශ්‍ය නොවීය.

"මම විශ්වාසා කරන්නේ, ඔය අනාවැකිවල හොඳක් තියෙනවානම් ඒවායින් හිතට ධෛර්යය ගන්න එක හොඳයි. නමුත්... නමුත්... ඔය සමහර අනාවැකිවල තියෙන බොරුවලවට අහුවෙලා පූජා තියතියා, බාර වෙවී හිතින් දුක්විඳ විඳ සල්ලිත් නාස්ති කරන එකට මම විරුද්ධයි."

"නමුත්... හෙනහුරු ලැබුවම ඝන දෙවියන්ටත් උණ් බට කොළ කන්න උනා කියලා ඔයා අහලා ඇතිනේ..." මාමාගේ ස්වරයා ජයග්‍රාහීය. බාප්පා අරඹන්නට යන්නේ ජොතිෂ්‍යය පිලිඹඳව පාඩමක්දෝයි මට සිතුනි.

"කෙනෙක් ගේ අත බලලා, එයාගේ උපන් වෙලාව බලලා හොඳ දෛවඥයකුට කියන්න පුළුවන් එයාගේ උපන් වෙලාව බලලා හොඳ දෛව්ඥයකුට කියන්නන පුළුවන් එයාගේ ඉරණම මොකක් වෙයිද කියලා?"

මම ඊට විරුද්ධ වීමි. "එහෙම වෙන්නේ කොහොමද...? එහෙනම් මාමා නියතිවාදියෙක්! බුදු හාමුදුරුවෝ නියතිවාදය ප්‍රතික්ෂේප කලා. හේතුව පැවතීම නිසා ඇතිවන ඵල්ය හේතුව නැතිකිරීමෙන් නැතිකරන්න පුළුවන්..!"

"හරි! ඔයා පිළිගන්නේ නැහැනේ. දෙන්න මට ඔයාගේ දකුණු අත?" බාප්පා ඔහු හිඳගෙන සිටි පුටුව මා ලඟට කිට්ටු කරගනිමින් පැවසීය.

මාමා උඩ සාක්කුවෙන් ගත් කණ්ණාඩි කොපුව දිගහැර කණ්ණාඩිය එළියට ගෙන පැළැඳගත්තේය. මඳ වේලාවක් මාගේ අත නිරීක්ෂණයෙන් පසු ඔහු සිය ප්‍රතිඵල නිකුත් කරන්නට පෙර උගුර පෑදුවේය. මම එකම නිසල සිනහව මුවග රඳවාගෙන බලා සිටියෙමි. අවට සිටි අයගේ අවධානය්ද මේ සාස්තර කීමට යොමුවුයේ නිතැතිනි.

"ඔයාට සමාජයේ උගත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ධනවත් බැහැ. කවදාමත්ම ධනවතෙක් වෙන්න බැහැ. අන්න ඒක මතක තියා ගන්න. යන්තමින් ජීවිතය ගැටගහගන්න පුළුවන් වෙන තරමට තමයි මුදල් හදල් ලැබෙන්නේ. සැප වාහන, හොඳ ගෙවල් දොරවල්, රූමත් බිරින්ඳෑ කෙනෙක් හෙම ලැබෙන්නේ නැහැ. කවදා හරි ලොකු ණය කාරයෙක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් අවුරුදු 30 - 35 කාලයෙදී මුදල් හදල් පාවිච්චියේදී පරිස්සම් වෙන තරමට හොඳයි."

සිය බැරෑරුම් දෑස් නාසය අගටම වැටුණු කණ්ණාඩියට ඉහළින් මෙහෙයවමින් බාප්පා කියාගෙන ගියේය. මේ සාස්තර කීම දෙස අවට සිටි අම්මා සහ ඥාති සොයුරන් හා සොයුරියන් බලා සිටින බවත් අසා සිටින බවත් ඔවුන්ගේ මුවඟ නැඟී තිබුණු බවත් මම දුටුවෙමි.

"ඇති!! ඇති!!" මම අත ඇද ගතිමි. තවත් බලාගෙන හිටියොත් මේ මනුස්සයා තව මොනවා කියයිද දන්නේ නැහැ" මම මට කියා ගතිමි.

"ඇයි! ඇයි! කලබල උනේ. ජීවිතය ඔහොම තමඉ..."
"තමන්ගේ ඉරණම පිළිගන්න බැරි අය අද කාලයේ විතරක් නෙවෙයි. බුද්ධ කාලයෙදිත් හිටියා."

මා සිත කේන්තියෙන් පිරීගියද, එය පිට කිරීමට සුදුසු විදියක් සෙවීමට මට සිදුවිය.

"ඔය ඔක්කොම බොරු කරන්න පුළුවන් උත්සාහයයි, ධෛර්යයි, ආත්ම විශ්වාසයයි තියෙනවානම්!"

"මම බැහැ කියන්නේ කරුණු ඇතිව... පොත්පත්වල තියෙනවා එක එක මනුස්සයාගේ ජීවිත කතාවල සිදුවීම් සමඟ ඒ අයගේ ජොතිෂ්‍යය විද්‍යාත්මක සිදුවීම් හරියටම එකට එක ගැලපෙන බව... මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන් වගේ අය උපතින්ම සාහසිකයකු අතින් මරණයට පත්වෙන්න උරුම කරගෙන ආපු අය."

"ඒවා මම දන්නේ නැහැ. මාමා මම ගැන කියපුවා මම බොරු කරලා පෙන්වනවා! මම කවදා හරි ධනවතෙක් වෙනවා. මාමා කියපු හැම දෙයක්ම මම ලබා ගන්නවා. අන්න එදාට මාමා බලාගන්න!!!"

මා කියූ විදිය සැර වැඩි වූවා විය හැක. අම්මා මැදට පැන "පුතා දැන් ඔය ඇති. බප්පත් එක්ක කට ගහගෙන යන්න එපා" කීවාය.

මා කට ගහගෙන නොගිය බව මම දනිමි. මාමා සමඟ සංවාදයට එක්වූයේ මිතුරෙකු සමඟ ලෙසින්ම් වූ විවෘත බවකිනි. කතා බහේදී මා වාදයට පටලවා ගත්තේද මාමාය. අම්මාගේ අණ කිරීම නොරිස්සූ මමවහා එතැනිනි ඉවත්වීමි.

"පුතා එයාගේ වයසේ හැටියට ගොඩක් හොඳින් ලෝකය ගැන දන්නවා. දන්නෙ නැද්ද දැන් ඉන්න කොල්ලො... ජොතිෂ්‍යය වගේ දේවල් එගොල්ලන්ට හරි යන්නෙ නෑ."

අම්මාට ප්‍රතිඋත්තර බඳිමින් මාමා පවසනු මට යන්තමට ඇසුනි.

නිවාඩු දිනවලදී තම පෞද්ගලික පුස්තකාලයේ පොත්පත් කියවීමට මා එවන මෙන්ද අම්මාට මාමා කියූබව මා දැන ගත්තේ පසු දිනකය. එය අප ශාස්ත්‍රීය කරුණු ගැන කරන් ලද වාදයන්හි ආරම්භය මිස අවසානය නොවූයේ එහෙයිනි.

මාමා දින පොතෙහි යමක් සටහන් කරයි. ඔහුගෙ අත හසුරුව ලියන්නේ මහත් වෙහෙසක් ගනිමිනි.

හදිසියේම මා රෝගී වූයේ ඔහුගේ මොළයේ රුධිරනලිකාවක ලේ කැටිත්තක් සිර වීමෙනි. දොස්තරවරු පැවසූයේ ජීවිතය බේරා ගත හැකි නමුත් ඔහුගේ මතකය තදින්ම දුර්වල වන බවයි. මුල සිටම එදිනෙදා දේ කිරීමට පුහුණු වීමට සිදුවන බවත්, කියවීම ලිවීම මුල සිට පුරුදු විය යුතු බවත් ඔවුන්ගේ ඇදහීම විය.

මාසයක් පමණ් කාලයක් ඔහු රෝහලෙහි රැඳී ප්‍රතිකාර ගන්නා අතරතුර මාද රත්‍රියයන්හිදී ඔහුට අවතෙව සඳහා නැවතී සිටියෙමි. වෙනදා අතොරක් නැතිව විවිධ මාතෘකා ඔස්සේ වචන මෙහෙයවන මුව ඇදවී ගොස් තිබුණි. තියුණු පරිකල්පනයන්ට ගැලපෙමින් වෙනස්වන ඩෑස, එක එල්ලේ පතිතිවන හිරු එලියෙන් සැඟවෙන්නක් පරිදි රෝගී තත්වය තුල සැඟව තිබුණි. මේ ඉන්නේ ඔහු තුල සිටි උගතා මරදැමීමෙන් ඉතුරු වන පොත්තක් ලෙසිනි මාහට ඔහුගේ වෙනස දැනෙන්නට වූයේ.

චිතික්සකයන්ගෙ සහයෙන් කෙමෙන් නිසි පරිදි අතපහසුරුවන්නටත්, කතා කරන්නටත් මාමා උගත්තේ මහත් වෙහෙසක් දරමිනි. තමා සතු මුළු මහත් පුස්තකාලයේම තිබූ සියළු පොත් කියවා ඒ ඒ කරුණු මේ මේ පොත් වල මේ මේ තන්හි ඇතැයි කියන්නට හැකිවතිබූ මාමාට මුල සිට වචන ඉගෙන ගන්නටත් වචන එකතු කර වාක්‍ය තනා ගන්නටත් සිදුවිය. පෙර පුරුද්ද බලවත් වීම නිසාදො මාමාගේ සුවවීම වේගවත් විය.

වසරක් තුල පත්තරය කියවන්නටත් ගණන් හදන්නටත් හැකිවීම ඊට සාක්ෂි දරයි. එසේ නමුදු මාමා තුල පෙර විසූ උගතා, බුද්ධිමතා යලි බිහි නොවූ බව කිව යුතුය.

"මේ දවස් වල මොනවාද කියවන් පොත්" මම නිහඬ බව බින්දෙමි.

"මම මේ දවස්වල ජොතිෂ්‍යය ඉගෙනගන්නවා..." මා බලාපොරොත්තු සහගත හඬකින් පැවසීය.

"මාමා ජෝතිෂ්‍යය විශ්වාස කරනවාද?" මම ඇසුවේ බාප්පාට පෙර දිනක අප අතරවූ සංවාදය මතකක් නැතිබව සිහි කරමිනි.

"මමද..., ඒක හරියටම කියන්න බැහැ..."
"ඒකට.... මේ... මේ... මොකක්ද...."

මාමා කතා කරන විට සිහි කර ගැනීමට අපහසු වචන සිහි කර ගන්නට උදවු කිරීම අපගේ සිරිත විය. නමුත් මෙවර මටද ඔහුගේ අදහස තෙරුම් ගත නොහැකිවිය.

"අර.. අර..."
අවසානයේදී ඔහු ඔහුගේ වෑයම අත හළේය.

"සමහර අදහස් වලට... වචන එන්නේ නැහැ..." මාමා හාන්සි පුටුවේ දිග ඇදෙමින් පැවසීය. නොපහන් හැන්ගුමින් තම කණ්ණාඩි කුට්ටම ගලවා කමිස කෙළවර පිසදා නැවත දමාගත්තේය. මළ හිරුගේ අවසාන කිරණ කිහිපයක් ජනේලය හරහා බාප්පාගේ මුහුණට වැටී තිබේ. ඔහුගේ දෑස මලානිකය. ඒ දෑස ඉරිදා පත්තරයේ පිටු අතර සෙමෙන් එහෙත් නොනැවතී ගලා යයි. කාමරයේ කෙළවරවූ විශාල බට්ටා ඔරලෝසුවේ සටහන් වූයේ සවැනි හෝරාව වියයුතුය.

අවසාන් විභාගයට තව ඇත්තේ දින කිහිපයකි. නැවත ගෙදර ගොස් පොත් අතරට විය යුතුය. මම දීඝනිකාය පළමු කාණ්ඩය පරෙස්සමට වැහුවෙමි.

2 comments:

said...

"තිබ්බත මළ පොත" කියන්නේ මොකද්ද? සිංහල පොතක් ද? නැත්නම් පරිවර්ථනයක්ද?

lilan said...

පරිවර්තනයකි.

මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළ පොත(ගොඩගේ) - ධර්මසිරි ගුණපාල, ඩබ්ලියු. ඇම්. ගුණතිලක

මරණින් මතු ආත්මය සම්බන්ධයෙන් සිදුවන සංක්‍රාන්තිය අරබයා පෙර’පර දෙදිග වෙනසක් නැතිව විශාල ගවේෂණ දැන් දැන් සිදුවෙමින් පවතී.පෙර දිග අපට, බෞද්ධ සන්දර්භය තුළ මේ විෂය ඉතා හුරු පුරුදු එකකි. මහායාන සම්ප්‍රදායේ තිබ්බත ග්‍රන්ථ කිහිපයක්ම මේ පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කරයි. “ තිබ්බත මළ පොත “ නමින් සිංහලෙන් හැඳින්වෙන්නේ එයයි.
reference:http://www.lakehouse.lk/budusarana/2010/05/27/tmp.asp?ID=vision11

Post a Comment

 

© Copyright සිතුවිලි . All Rights Reserved.

Designed by TemplateWorld and sponsored by SmashingMagazine

Blogger Template created by Deluxe Templates