යුද්ධය

ගිලන් රථයක හඬ ඇසෙන්නට වූයේය. මුලදී ඈතින් ද, කෙමෙන් ළං ළංව ද ඇසුණු හඬ අඩ නින්දේ සිටි විමල් ගේද අවධානයට යොමු විය. විමල් සිය දකුණු පස ශන්තව නිදන බිරිඳ දෙස බැලුවේය.
සති අන්තයේ ගමට ගොස් නැවත පැමිණෙමින් සිටි මඟීන්ගෙන් වායුසමීකරණය කළ බස් රථය පිරී තිබුණි. විමල් හා නාමලී ද ඔවුන්ගේ දෙමවුපියන් බැලීමට ගොස් නැවත ඔවුන් ගේ තාවකාලික නිවහන වෙත පැමිණෙමින් සිටියහ.
ජනෙල් ආවරණ මෑත් කළ විමල් තම බස් රථය පසු කර එකක් පසු පස ගිලන් රථ තුනක් දුටුවේය. පාරේ වාහන තදබදය අධික වූ බැවින් ගිලන් රථ ඉදිරියට ඇදෙන්නේ සෙමෙනි.
"මෙපමණ ගිලන් රථ පෙළක් ඇදෙන්නේ ඇයි?" විමල් කල්පනා කරන්නට විය. රත්මලාන ගුවන් තොට පසු කළා පමණි. ඊයේ රාත්‍රී යාපනයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසළ ඇති වූ දරුණු සටන් ගැන විමල්ට සිහි විය. ඒත් සමඟ ඔහුගේ සිත තුළ මෙතෙක් තිබූ සැහැල්ලුව පහව ගියේය. පපුව මැද යමක් සිර වී යන බවක් ඔහුට දැනෙයි. මීට පෙරද කිහිපවරක් අමතක කරන්නට දැඩි උත්සහයක් ගත් දැඩි සිතුවිලි ධාරාවෝ යළිත් නැඟී එන්නට වූහ.
"හමුදාව ඉදිරියට යන්න යන්න ත්‍රස්තවාදීන් පස්සට ගියා" බ්‍රිගේඩියර්වරු තවත් ඉදිරියට යන්න සෙබළු 200කින් යුතු පාබල බල ඇණියක් ඉදිරියට ‍යැව්වා. කොහොමහරි මේ සැලැස්ම ත්‍රස්තවාදීන්ට ආරංචි උනා.
"අපේ අය ඉදිරියටම ගියා. ත්‍රස්තවාදීන්ගේ ඉදිරි අරක්ෂක වළලු දෙකක් අල්ල ගත්තා."
"මෙහෙයුමේ අනපේක්ෂිත සාර්ථකත්වය ගැන සැක නොසිතූ බ්‍රිගේඩියර්වරු සෙබළුන්ට තවත් ඉදිරියට යන්න අණ දුන්නා."
"උපක්‍රමශීලීව දෙපසට පසු බැහැපු ත්‍රස්තවදීන් ඉදිරියට ගිය අපේ සෙබළුන් තුන් පැත්තකින් වට කරලා දිගටම පහර දුන්නා. සෙබළු 200ම එතනමයි."
විමල්ගේ මතකයට නැඟෙන මේ සිද්ධිය ඔහු දැන ගත්තේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙදියක වූ ඔහුගේ මිතුරකුගේ මවකගෙනි. ඒ අද උදයෙහිය.
මේ සිද්ධිය ඇසීමත් සමඟ විමල්ගේ සිත මහත් කලබලයට පත්විය. එය බිය ද, අවිනිශ්චිත බව ද, වෛරය ද, සම පමණින් එක් වූ සංයෝජනයකි. තමාට එසේ සිතෙන්නේ මව්බිමට තිබෙන ආදරය නිසා ‍යැයි හේ සිතයි.
"මෙහෙමත් පහරයෝ ! කව්ද මේවයේ රහස් එලියට දෙන්නෙ.... ඇතුලෙ ඉන්න සිංහලයොම තමයි. සල්ලි වලට තියෙන කෑදරකමට තමන්ගෙම සහෝදරයන්ගේ මරණ සහතික ලියනවා." "සල්ලි වලට දෙමව්පියො විකුණන රටක මේකත් කජ්ජක්ද?" "මේක හදන්න බැරි තරමට නරක් වෙච්ච රටක්"
වායු සමනයේ සිසිලස පරයා බස් රථය තුළ උණුසුම් බවක් විමල්ට දැනුණි. නළලතෙහි නැඟී තිබූ සිහින් දහදිය බිඳු දබරැඟිල්ලෙන් පිස දැමුවේය.
විමල් සිය බිරිඳ දෙස බැලුවේය. ඇයගේ දෙනෙත් පියවී ඇත. සිහින් දෙතොලග රැඳී ඇත්තේ මඳ සිනහවකි. අවුල් වූ කෙස් ගස් කිහිපයක් ඇගේ නලළත හරහා වැටී තිබේ. විමල් සෙමෙන් ඈ දෙසට නැවී කෙහෙරැළි ඔසවා පස්සට කළේය.
අහිංසකව නිදන සිය බිරිඳගේ රුව විමල් ගේ දෙනෙතට හසු විය. ඇගේ සුන්දරත්වය නිඳන විට වඩාත් ඔපවත් වන බව ඔහුට සිතුණි. විමල් හෙලූ සුසුමින් ඔහුට මහත් සැනසිල්ලක් දැනුණි. ඔහුගේ සිත නැවත සන්සුන් විය.
"දෙහිවල පසු විය. ඊළඟට වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය... එතැන සිට තවත් බසයක...." විමල් සුව පහසු ආසනයේ ඇන්දට හේත්තු වී හිස කෙලින් කර ගත්තේය.
කොන්දොස්තරගේ හඬ නැවත ඇසේ.
" විලියම්ස් බහින අය ඉන්නවනම් බැහැල යන්න..."
" මේ මහත්තයො පොඩ්ඩක් අයිනට වෙල ඉඩ දෙන්න මේ මිස්ල දෙන්නට බහින්න."
" ඉස්සරහ වාහන හමුදාවෙන් චෙක් කරනවා. ඔක්කොම තමන්ගෙ අයිඩෙන්ටිටි කාඩ් අතට ගන්න."
" විලියම්ස් බහින අය...."
" මේ මිනිස්සු කරන රස්සව හරිම පුදුමයි. අඩි 20ක් ඇතුළත එහා මෙහා ගිහින් සල්ලි එකතු කරනවා. එකම වචන... එකම මුහුණු... යන්ත්‍ර වගේ. "
විමල් කමිස අත මෑත් කර ඔරලෝසුව දෙස බැලුවේය. වෙලාව තුනයි තිහයි. බස් රථය තුළ ඇති වූ කසුකුසුව නිසා ද, ගමන් මලු අරින වහන හඬ නිසා ද, නාමලී නින්දෙන් පිබිඳුණි. ඇය තම සැමියා දෙස බැලුවාය. ඔහු ඔරලෝසුව දෙස බල සිටිනු ඇය දුටුවාය.
" විමල් වෙලාව කීයද? " ඇය ඇසුවාය.
ම්!..... විමල් ඇය දෙස බැලුවේ වැඩි අවධානයකින් තොරවය.
" හමුදාවෙන් වාහන චෙක් කරනවා."
" පැය ගාණක් පරක්කු වෙයි අදත් " විමල් නොමනාපෙන් කියන්නේ මීට පෙරද පැයගණනක් රස්තියාදු වූ නිසා බව නාමලී දනී.
බස් රථය ඉදිරියට ඇදෙන්නේ ඉතා සෙමෙනි. ඒ ද බොහෝ වේලා එක තැන නවත්වා ගෙන සිට ඉන් පසුවය. පිටත අව් රශ්මිය වසා තිබූ ජනෙල් තිර අතුරින් රථය තුළට වැදෙයි.
" ඒ.සී. තිබුනට හරිම රස්නෙයි." නාමලී කියන්නේ ඇත්තකි. විමල් අසුනට ඉහළින් සවිකොට තිබූ වා කවුළුවට තම පිටි අත්ල යොමුකර බැලූයේ වාතය ශීතල ඇති නැති බව දැන ගන්නටය.
" මොන නිකම්ම නිකන් හුලං. යාන්තන් සීතලක් තියෙන්නෙ." ඒ මදිවට වාහනය එක තැනය.
විමල්ගේ හිත නොසන්සුන්ය. කොන්දොස්තරට කෑ ගසා ඒ.සී. වැඩි කරන්නට ඔහුට සිතුණි. "තව ටිකක් ඉවසනව" විමල් සිත අස්වැසීය.
ප්‍රධාන පාරේ සිට අතුරු පාර වලට හැරෙන හන්දි වල සෙබළෙක් බැගින් සිටියි. වාහන අතුරු පාර වලට හරවා පරීක්ෂාවෙන් ගැලවී යාමට කිසිවෙකුටත් ඉඩ නොතැබීම එහි අරමුණ විය හැක.
බසය සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙයි. නැවතත් අතුරු පාරකි. සෙබළෙක් ඒ හරහා සිට ගෙන වාහන දෙස සෝදිසි බැල්මක් හෙලයි.
විමල් ගේ අවධානය ඔහු කෙරෙහි යොමු විය. හේ පැහැයෙන් තලෙළුය. දෑස දීප්තිමත්ය. මුහුණ දිගටිය. මුහුණින් පිටතට නෙරා ආ හකු මුහුණට අලංකාරයක් එක් කරයි. හිස රිජුය. දෙතොල් කලු පැහැ ගැන්වී ඇත්තේ දුම් බීම නිසා විය හැකිය. දෑතින් ගිනි අවිය අල්ලා සිටින ඔහුගේ ඉරියව්ව ස්ථිරය. නොවෙනස්ය.
සෙබළාගේ රුව විමල් තුළ දැනවූයේ අමුතු හැඟීමකි. මේ මිනිසා ද තමා වැනිම බවත්, පාරේ සිට ගෙන අව්වේ දහදියෙන් තෙමී සිටිනු දැකීම ඔහු තුළ ඇති කළේ කරුණාවකි. ඔහුගේ එඩිතර පෙනුම ද රිජු නොවෙනස් ඉරියව්වද විමල්ගේ සිත් ගත්තේය.
විමල් ගේ අවධානය ඔහු කෙරෙහි යොමු විය. හේ පැහැයෙන් තලෙළුය. දෑස දීප්තිමත්ය. මුහුණ දිගටිය. මුහුණින් පිටතට නෙරා ආ හකු මුහුණට අලංකාරයක් එක් කරයි. හිස රිජුය. දෙතොල් කලු පැහැ ගැන්වී ඇත්තේ දුම් බීම නිසා විය හැකිය. දෑතින් ගිනි අවිය අල්ලා සිටින ඔහුගේ ඉරියව්ව ස්ථිරය. නොවෙනස්ය.
සෙබළාගේ රුව විමල් තුළ දැනවූයේ අමුතු හැඟීමකි. මේ මිනිසා ද තමා වැනිම බවත්, පාරේ සිට ගෙන අව්වේ දහදියෙන් තෙමී සිටිනු දැකීම ඔහු තුළ ඇති කරුණාවකි. ඔහුගේ එඩිතර පෙනුම ද රිජු නොවෙනස් ඉරියව්වද විමල්ගේ සිත් ගත්තේය.
" අපේ හමුදාවේ සිටින්නේ මෙවන් එඩිතර කොල්ලන්ය " යන හැඟීම ඔහු සිත තුළ සතුටක් හා බලාපොරොත්තුවක් ඇති කළේය.
වාහනය නැවත ඉදිරියට ඇදෙයි. විමල් නැවතත් දෑස පිහ ගත්තේ‍ය. ඔහු දුටු සෙබළා අවි ගෙන සටනක යෙදෙන චිත්‍රයක් විමල් ගේ මනසෙහි ඇඳුනි. ඔහු සගයන්ද සමඟ ඉදිරියට ඇදෙන්නේ බඩගාමිනි. ඒ අඩියෙන් අඩියයි. දිගට හරහට සතුරගේ වෙඩි ප්‍රහාරය. සතුරෝ පසු බසිති. වීර සෙබළා ඔහුගේ කණ්ඩායමත් සමඟ ඉදිරියටම ඇදෙයි. උඩින් වැටෙන යමක් හඬ නඟා පොළොව දෙදරවමින් පුපුරා යයි. අවටම මහ ගින්නකි. ඇවිස්සුණු දුහුවිල්ලෙන් සහ දුමින් දර්ශනයම වැසී යයි. ළඟ ළඟම වෙඩි හඬ ඇසෙයි. ඒ අසළින් ඇසෙන අඳෝනා හඬකි. සියල්ල මොහොතක දී නිසල වෙයි. දුහුවිලි වලාව සුළඟෙහි පාවී යයි. සෙබළු තැන තැන බිම වැටී සිටිති. ඔවුන් ගේ පිළිස්සුණු සිරුරු අතර ඔහු හඳුනා ගත්තේ ඔහු දන්න සෙබළාගේ මුහුණයි.
විමල් එම අවසනයට නොකැමැති විය. තම සිතෙහි නිර්මාණය වූ දසුන් කිසිදා නොවන දේ බව ඔහු ඔහුටම කියා ගත්තේය.
**********

" දවල් කෑම ලෑස්තියි! " කාමරයට එබී බලමින් නාමලී පැවසුවාය. විමල් ගුවන් විදුලියට සවන් දී ගෙන සිටියේ නාමලී කියන්නක් නෑසුණු ගණනිනි. ප්‍රවෘත්ති විකාශයේ ඔහු වඩාත් උනන්දු වන්නේ ආරක්ෂක පුවත් වෙතයි.
" අද සවස ගුවන් හමුදව විසින් තොප්පිගල හා මන්නරම පිහිටි ත්‍රස්තවාදී කඳවුරු තුනක් වෙත එල්ල කළ ප්‍රහාරයන් සර්ථක වූ බව ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකශ කරයි. කෆීර් යානා යොදා ගනිමින් කළ ප්‍රහාරයන්ගෙන් පුහුණුව ලබමින් සිටි ත්‍රස්ත සාමාජිකයන් විශල පිරිසක් මරණයට පත් වූ බව බුද්ධි අංශ තහවුරු කරයි."
විමල්ට දැනෙන සතුට බලවත් වීය. සිතෙහි පරාජයේ පාර්ශ්වයට බරව තිබූ යුද්ධයේ තරාදිය එම පුවතත් සමඟ සමබර වූ බවක් විමල්ට හැඟින.
" මේ පාර නම් දෙකෙන් එකක් වෙන්නම ඕනි! දැන් නම් බලාගෙන සිටිය ඇති."
"ත්‍රස්තවාදීන් ශක්තිමත් උනේ අපේම වැරදි නිසා. හරි සැලසුමකට ගහනව නම් උන් පරදන එක මහ දෙයක් නෙවෙයි."
විමල් සන්දේශය වැඩසටහනට ගුවන් විදුලිය සුසර කළේ ජාතික ආරක්ෂාව ගැන රජයේ ?????? මවන පින්තූරයට අකමැති නිසා නොවේ. නමුත් එය සත්‍යම නොවන බව ඔහු සිතයි. බී.බී.සී.ය සහ සන්දේශය ත්‍රස්තවාදීන්ට පක්ෂ වුවත්, එහි ප්‍රචාරය වන ප්‍රවෘත්ති වාර්තා වල ද යම් ඇත්තක් ඇතැයි දැයි දැන ගැනීමේ කුහුලෙන් නොමිඳුනෙකි විමල්. එය ඔහුට තුවාලයක් අවට පිරිමැදීමක් වැනිය. එයින් මඳ වේදනාවක් හා මඳ සුවයක් යන දෙකම ලබා දෙයි.
" මන්නාරම් වෙරළ තීරයට අද සවස් කාලයේ එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව පදිංචි වී සිටි ගෙවල් කිහිපයකට දැඩි හානි සිදු වූ බව එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශක අප සමඟ පැවසුවා."
"මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අප සම්බන්ධ කර ගන්නවා..........."
" මුන් මේ කැලෑ කොටින්ටත් මාධ්‍ය ප්‍රකශකල හදන හැටි! " විමල්ට ඇති වූයේ දැඩි කෝපයකි. ඔහුට තම කාර්යාල මිතුරෙකුගේ අදහස් සිහියට නැඟෙයි.
" බටහිරට අවශ්‍ය වෙන්නේ අපි වගේ රටවල් ඒ ඒ තැන් වලම පල් කරන්න. අපි ඉස්සරහට එනවට උන් විරුද්ධයි. පතොරමේ ඉඳන් කොතෙකුත් උපකාර කරමින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අතරම අපේ ඔලු ගෙඩි හදන්න මාධ්‍ය යාන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙනවා."
"මේව අහන අපිමයි මෝඩ වෙන්නෙ...." විමල් ගුවන් විදුලිය වසා දමා කෑම කන අදහසින් කාමරයෙන් පිටතට පැමිණියේය.
**********
විමල්ට මඳ නිදිමතක් දැනේ. ටෙලිනාට්‍යය දෙස සිය බිරිඳ බලා සිටින්නේ මහත් වූ ආශාවෙනැයි විමල්ට සිතේ. තමා ඇසූ එකිනෙකට පරස්පර පුවත් ඇය සමඟ සංවාද ගත කිරීමට ආ අදහස විමල් මැඬ ගත්තේය. නැඟිට ගොස් නාමලී ළඟින්ම වාඩි වූ ඔහු ඇගේ දෙවුර සෙමෙන් මිරිකන්නට වූයේය. කිති කැවීමෙන් කෝල වූ නාමලී විමල් ඉවතට තල්ලු කළාය. විමල් නාමලීට තවත් තුරුළු වූයේය.

0 comments:

Post a Comment

 

© Copyright සිතුවිලි . All Rights Reserved.

Designed by TemplateWorld and sponsored by SmashingMagazine

Blogger Template created by Deluxe Templates