ඇය මා දමා පලා ගියාය.
කොතෙක් වර ඈ හමු වුවද...
ඈ මා මග හැරියාය.
අද මා මුහුණට මුහුණ
මුණ ගැසුන හෙයින්
ඕ හට පලා යාමට නොහැකිය.
බොහෝ දුක් විඳිමින්
ඈගේ විරූපී දරුවා
රැක බලා ගනිමින් හුන් මම,
ඇගේ චපල කමින්
පළි ගන්නට සිතීමි.
ජනාකීර්ණ වීදියක් වෙත
ඇය ඇද ගෙන ගිය මම
සියලු දෙනා ඉදිරියේ
ඇයට අවමාන කරන්නට සිතීමි.
ඇය නිරුවත් කරන්නට සිතීමි.
ඇය ඇඳ සිටි සුන්දර කබා
ඉරා දැමුවෙමි.
ඇය ඊට මඳක් හෝ විරොධයක්
පළ නොකළාය.
ඇතුළත දුහුල් සළුවෙන්
වඩාත් අලංකාර වූ ඇය
නොවූ විරූ දඟකාරකමකින්
සිනාසෙන්නට පටන් ගත්තාය.
දුහුල් සළු කොණ
ඇඟිලි තුඩින් පටලවා ගත් මම
එය ඇද දැමීමට සැරසුණෙමි.
ඇය දෑත් ඔසවා
රමණීය ලෙසින් බමණය වෙමින්
මා කරන්නට ඉඩ දෙයි.
ඉන් වඩාත් දිරි ගත් මම
වැරයෙන් සළුව ඇදීමි.
තවත් ඇදීමි.
තව තවත් ඇදීමි.
එය නිමක් නොමැතිව ඇදේ!
මා උසින් යුතු සළු කන්දක්
ඉතිරි වීමෙනුදු
නිම නොවූ
මාගේ පළි ගැනීමේ ආශාව
ලජ්ජාවකට හැරුණේ
මොහොතකිනි.
ඇය නිසල සිනහව
නෙතඟ රඳවා
මා දෙසට ඇදෙයි
නැවතත් ඇගේ
සුන්දර සිනහවට,
දෙනෙතෙහි කාන්තියට
වසඟ වේ දෝයි බියෙන්...
මම දෙඇස් දෙකන් වසා ගතිමි.
අවටම සුවඳවත් කරමින්
මා අසළට ඇදී ආ ඇය
සියුමැලි ඇඟිලි තුඩගින්
මා හිස
සෙමෙන් පිරිමැද්දාය.
මා දැඩි සිත
වෙඬරු පිඬක් කිරීමට
ඇයට ගත වූයේ..
මොහොතකි.
ඈ දැක්මට මා තුළ හටගත්
ආශාව නිසාම
ඈ දෙසට හැරුණෙමි.
ඇගේ සුවඳ මුසු මඳ නළ
මා මත් කරවන සුළු විය.
ඇගේ දීප්තිමත් දෑස තුළින්
ගලන්නේ
ප්‍රේමයේ රසෝඝයයි...
එය තවත් අවසානයක් නොවීය...
ආරම්භයක්ම වීය.
0 comments:
Post a Comment