බලාපොරොත්තු?

"බලාපොරොත්තු මිනිසා ජීවත් කරයි" යනුවෙන් ප්‍රකට කියමනක් ඇත. සමහර බලාපොරොත්තු ඉටුවන තැනට කටයුතු යෙදෙන තෙක් ඒවා චිත්ත සන්තානයෙහි සැඟව සිටියි. ඒව ඉටු වුවහොත් එහි සැබෑ බලය ඔබට කිසිදාක නොපෙනෙයි. බලාපොරොත්තු සුන් වන විට පමණි එහි සැඟව සිටි අවස්තිථිය මුදා හැරෙන්නේ. ප්‍රභල හැඟීම් ඇත්තන් තුළින් එවන් ශක්ති විමෝචනයන් අවට සිටින්නන්ටද දැන ගත හැකිය. හැඟීම් සඟවා ගන්නෝ ඒව සිය චිත්ත සන්තානයෙහි සදාකාලික තුවාල ලෙසින් සඟවා ගනිති.
මා කියන මේ සිද්ධිය සිදුවී දැන් මාස කිහිපයක් ගත වී ඇත. එක් දිනක අගනුවර පැවති මංගල උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටියෙමි. රැයේ මැදියමද පසු වී තිබිණි. මුදුන් වෙමින් තිබුණු සඳ විසින් වීදි වල පහන් පරයා නගරය ආලෝකවත් කර තිබිණි. සාගරයට මුහුණලා තිබුණු දුම්රිය ස්ථානයට පැමිණි මම රාත්‍රී තැපැල් දුම්රියේ ටිකට් පතක් මිලදී ගතිමි.
සාගරය වෙනදාට වඩා නිවුණු බවක් පළ කළේය. සඳරැස් වැටී වෙරළෙහි තිබූ තෙමුණු ගල් පර වලින් දීප්තියක් නැඟෙයි. ගල්පර වල හැපී බිඳෙන රළ නඟන්නේ ශෝකී රාවයකි. දුම්රිය නැවතුමෙහි සිටියේ එක් මඟියෙක් පමණි. දුම්රිය මෙහි පැමිණීමට තරමක් වේලා තිබූ හෙයින් මම ලී බංකුවේ වාඩි වුනෙමි. මා අනික් මඟියා දෙස බැලුයෙමි. ඔහු මුහුද දෙස බලා සිටින්නේ ක්ෂිතිජය සොයන්නට දෑස වෙහෙස වන්නෙකු මෙනි. මම එක් වරම ඒ දෑස හඳුනා ගතිමි.
දයා! මට කෑගැසුණු තරම්ය.
මම ඔහු හිඳ ගෙන සිටි බංකුව වෙත ගියෙමි. මා දෙස හැරී බැලූ ඔහුගේ මුහුණද, ඒ බැරෑරුම් බැල්මද වෙනස් වූයේ මඳකිනි. නැඟුණු මඳ සිනහව මා ඔහු වෙත යන්නටත් පෙර වි‍යැකී ගියේය.
" ඒයි, උඹ මොකද මෙතන කරන්නේ " මම ඇසුවෙමි.
"මම මෙතන නිකම් ඉන්නවා." ඔහුගේ හඬ දුබලය. දයා මාගේ පාසල් මිතුරෙකි. ඔහු හමු වූයේ දස වසරකට පමණ පසුවය.
දයාගේ පෙනුම වෙනස් වී ඇත්තේ මඳකිනි. කොටට කපා පැත්තට පීරන කොණ්ඩය තවම එසේය. කාල වර්ණයට හුරු ඔහුගේ සිරුරේ පැහැය මඳ පැහැපත් බවක් ලබා තිබේ. හොඳින් හැඳ පැලඳ සිටියත් සියල්ල අවුල් කර ගත් ගතියක් ඔහු කෙරෙන් දිස්වෙයි.
"ඉතින් කොහෙද මේ ජැන්ඩියට ඇඳගෙන..... මගුල් ගෙදරකවත් ගියාද යාලුවා" දයා අසන්නේ සුපුරුදු සිනහවක් මුවඟට නංවමිනි. නමුත් ඔහු යමක් සඟවන බව මට දැනුණි. "මම මඟුල් ගෙදරක ගිහින් ගෙදර යන ගමන්, එතකොට උඹ.... ෂර්ට් එකේ බොත්තම් ගලවාගෙන.... ඔළුවත් අවුල් වෙලා..."
මගේ මිතුරා නිහඬය. හිස පහතට හරවාගෙනය. මුහුදේ හෝ.. හෝ.. හඬ අතුරින් ගලා එන සුලඟ හිටි හැටියේම තෙත් බවක් ගෙන ආයේය. ඒ පොද වැස්සක සලකුණුය. දයා තවමත් නිහඬය.
අපි ඔහු ඇමතුයේ දයා කියාය. මුල් නම අනෙකක වුවත් පාසලේ සාම්ප්‍රදාය වූයේ වාසගමින් ශිෂ්‍යයන් ඇමතීමයි. දයරත්න යන වාසගම කෙටි වූයෙන් ඔහු දයා විය. දයා ඉතාම සමජශීලී මිත්‍රශීලී මිනිසෙකු වූයේය. පාසලේදී ඔහු නොදත්තෙකු නොම වූ තරමට ඔහු ජනප්‍රිය චරිතයක් විය. නිතර සිනහ මුසු මුහුණින්ද, විහිලුවෙන්ද ඔහු අන් ශිෂ්‍යයන් කුල්මත් කළේය. ඉතා දක්ෂ සිසුවෙකු ලෙස සියලු දෙන පිළිගෙන තිබූ ඔහු බොහෝ විවෘතව තම අදහස් දැක්වූ අයුරු මට සිහියට නැඟෙයි. ඒ අදහස් වල අන්‍යයන් නොදකින පැත්තක් තිබූ බව මා හට මතකය.
නිහඬ බව බිඳිමින් දයා කතාව ආරම්භ කළේය.
"හ්ම්.... අපි අයෙත් හමු වුනේ හරිම දවසක නේද?....." "මම උඹට කියන්නම් මට ඒක උඹට කියන්න බැරි දෙයක් නෙමෙයි..මම මිනී මැරුවෙ නැහැ, හොරකම් කළේ නැහැ, මංකොල්ල කෑවේ නැහැ!!" "ඉතින් මට ඇයි බැරි මුළු ලෝකයටම වුනත් කෑගහල කියන්න" මම පුදුමයට පත් වීමි. ඔහුගේ බැරෑරුම් පෙනුම පැවසූයේ මෙය විහිලුවක් නොවන බවකි.
"දයා! මොනවද මේ කියවන්නේ... උඹ බීලද?... මොකක් ද වෙලා තියෙන්නේ.."
" මට මුකුත් වෙල නෑ බං! මම හොඳ සිහියෙන්! "
මම දයා ළඟින්ම වාඩි වුනෙමි. ඔහුගේ කර වටා අත දමා ඔහු ඇමතීමි.
"උඹට මොකක් හරි කරදරයක් නම් ඒක මට කියන ඒකෙන් උඹට සැනසීමක් ලැබෙන්න පුළුවන්. මට උදව්වක් කරන්නත් පුළුවන් වෙයි." මම කීවෙමි. දයා හිස එසවූයේය. වටපිට බැලුයේය. දිග සුසුමක් පිට කළ ඔහු කථාව ඇරඹීය.
උඹට මතකද අපි උසස් පෙළට ඉගෙන ගන්න කාලේ මම දවසක් දා අපේ යාලුවො ඔක්කොම බඳින්න කැමති කෙල්ලො ගැන කතා කළා! මගේ රුචිකත්වය උඹට මතකද?. කෙට්ටු උස කොණ්ඩය කොටට කපාපු.......!!!
"උඹට මතකද අනෙත් අවශ්‍යතාවය?"
අප කල්ලි ගැසී කතා බහ කරන අතරතුරදී දයා රෝස පැහැති පයෝධර තුඩු බලවත් අභිරුචියකින් කළ හෙලිදරව්ව මාගේ මතකයට නැඟේ.
"ඔව් ඔව් මට මතකයි! ඉතින් !"
මම විමතියෙන් යුතුව ඇසුවෙමි.
"උඹල හිතන්න ඇති ඒ වෙලාවෙ මම විහිළුවක් කරන්න ඇති කියල.. නේද?"
මට එහෙම ආසාවක් ආවෙ කොහොමද කියල මටත් තේරෙන්නෙ නැහැ. නමුත් මම තීරණය කළා මගේ බිරිඳ වෙන තරුණියක් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕන කියල.
මෙය නම් විකර කතාවකි. මගේ මුවඟට නැඟුනේ උපහාසය දනවන සිනහවක් විය යුතුය.
"ඉතින් දයා ඔයා කොහොමද ඒ වගේ කෙනෙක් හොයා ගන්නේ? සුද්දියක්ම බඳින්න වෙයි." මම කරුණාවෙන් ඇසීමි.
"හඃ ?? හිනා වෙන්න මට ද? මම කවදත් මට හරිය කියල හිතෙන දේ මොන කරදර බාධක ආවත් කරන කෙනෙක්. ? උඹ ඒක නොදන්නව කියල මම හිතන්නේ නැහැ."
"මම ගුවන් ඉංජිනේරුවෙක් වෙන්න හිතා ගෙන හිටිය උඹට මතක ඇතිනේ. ලංකාවේ ඒ තක්ෂණය නැති නිසා බටහිර රට වල උසස් අධ්‍යාපනය ලබන්නත් ඒ ගැන පර්යේෂණ කරන්නත් මගේ තිබුණ බලපොරොත්තු... මේ හැම දෙයම මම කළා!!" "මම දැන් ලෝකයේ අංක එකේ ගුවන් සමගමේ පියසර තාක්ෂණය ගැන අංශ ප්‍රධානියා. මගේ වයසේ කෙනෙක් මේ වගේ තැනකට එන එක හීනයක් වගේ දෙයක්" දයාගේ ස්වරය ප්‍රණවත්ය. හේ තම අදහස තහවුරු කරන්නේ කිසිදු පැකිලීමකින් තොරවය.
"ඔව් මම පිළිගන්නවා දයා! ඔයා තමයි අපේ පන්තියේ හිටපු දක්ෂතම ශිෂ්‍යයා."
දයා දිග සුසුමක් හෙලුවේය. මෙතෙක් වේලා ඔහුගේ දෑස් වල පැවති දීප්තිය කෙමෙන් පහව ගියේය.
"විවාහයට මම කැමති කෙනෙක් සොයා ගන්නවාට අපේ අම්මල තාත්තලා අකමැති උනේ නැහැ. නමුත් අම්මා මගෙන් ඉල්ලා තිබුණා අපේ සංස්කෘතියට ගැලපෙන විශේෂයෙන්ම මට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කියා."
"මම රට ගිහින් හිටපු කාලයේ දී මම ගොඩක් ලස්සන තරුණ තරුණියන් හඳුනා ගත්තා මගේ මිත්‍රයෝ බොහෝ දෙනා ඒ සුදු තරුණියන් සමඟ සබඳතා ඇති කර ගත්තා. සමහරු විනෝදෙට. සමහරු විවාහ ගිවිස ගත්තා. මේ අය අතර හැමෝගෙම මිතුරෙක් විදිහටත් සිටිමින් තමන්ගේ පාඩුවේ සිටීම ලේසි උනේ නැහැ. උඹ දන්නවනේ මා ගැන! මම බොහොම ප්‍රතිපත්තිගරුක මිනිහෙක්. බදින්න කලින් ඔය වගේ දේවල් වලට පැටලෙන එක මගේ ප්‍රතිපත්තියට විරුද්ධයි! ඉතින් මම මට ගැළපෙන තරුණිය හමු වන තෙක් තනිකඩව ඉන්න තීරණය කළා."
"දැනට මාස හයකට විතර කලින් ලන්ඩන් වලදී මට බොහෝම අපූරු කෙල්ලෙක් හමු උනා. එයගේ නම සඳනි. සඳනිගෙ අම්මා බ්‍රිතන්‍ය ජාතික කාන්තාවක්. තාත්තා ලන්ඩන් වල ජීවත් වෙන ලංකවේ මැණික් ව්‍යාපාරිකයෙක්. එයාගේ අම්මා එය උපදින කොටම අන්ත්‍රා වෙලා. එයයි තාත්තයි ලන්ඩන් වල තමා ජීවත් වුනේ"
මගේ සිතට අවේ එකම කුතුහලයකි.
"දයා දැන් කියන්න යන්නේ ඔය සඳනිව බඳින්න සුදුසු කෙල්ල කියා තීරණය කළා කියලද? එයා උඹේ අර ඊනියා අවශ්‍යතාවය සම්පූර්ණ කළාද එහෙනම්?"
"උඹ දන්නවනේ මම ප්‍රතිපත්තිගරුක මිනිහෙක්."
දයා හිස වනමින් කතාව පටන් ගත්තේය.
"නමුත්!.. නමුත්!.. සඳනි හරි වෙනස්. මම ගොඩාක් මිතුරියන් ආශ්‍රය කරල තියෙනවා. විවිධ ජාති වල, එක එක මට්ටම් වල. නමුත් මට කවදාවත් ඇති නොවුණු හැඟීමක් මගේ හිතේ එයා ගැන ඇති වුනා. එයා ලන්ඩන් වල ජීවත් උනාට, හොඳින් සිංහල කතාබහ කරන්න දන්න, ආසියානු සංස්කෘතිය හා භාෂා ගැන ශාස්ත්‍රපති උපාධිධාරිනියක්. එවගේම ජීවිතය දිහා, මිනිස්සු දිහා බොහොම වෙනස් විදිහකට බලපු කෙනෙක්. සඳනි සිහින් උස සිරුරක් තියෙන බොහොම පැහැපත් කෙල්ලක්. එයගේ දිගටි මුහුණට, බොහොම පලළ අලංකාර දෑස් වලට, ටිකක් වෙනස් සිංහල උච්ඡාරණයට... මාව එයා දිහාවට ඇදිල ගියා. අපි අන්තිමේ දී ආදරයෙන් වෙලුනා."
"මම බලාපොරොත්තු වුන අවශ්‍යතා සඳනි සම්පූර්ණයෙන්ම ලබා දුන්නා කියලා මම හිතුවා. ඇත්තටම මට ඒ ගැන මහා විශ්වාසයක් ඇති වුණා. කිසිදාක ප්‍රශ්න නොකළ, හරි දැයි වැරදි දැයි නොබැලූ අචල විශ්වසයක්."
"අන්තිමේදී එයාගේ ගෙදරට මාව හඳුන්වල දුන්නට පස්සේ මමත් අම්මලාට සඳනිව හඳුන්වල දුන්නා. ටික දවසකින්ම අපේ විවාහය තීන්දු උනා. ඉතින් අපි බැන්දා. එයා කැමති උනේ ලංකාවේ දී මංගල උත්සවය සිංහල චාරිත්‍රානුකූලව පවත්වන්න. බොහොම චාමෙට."
"හැම දෙයක්ම බොහොම අපූරුවට සිද්ධ උනා. අපි මංගල රාත්‍රිය ගත කළේ උත්සවය තිබුණ හෝටලයේමයි. මුල් වරට අපි තනි වුණු හැටියේම මම ඇගේ මුව ආදරයෙන් සිප ගත්තා. එවේලෙහි සඳනිගේ දෑස් පියවුනු හැටි මට තවමත් මතකයි. ඇය බොහොම ආදරයෙන් මාව වැළඳ ගත්තා."
ලොකු රළක් පැමිණ වේගයෙන් වෙරළෙහි ඇතිරූ ගල් වල වැදේ. ඉන් විසිවූ ජල පහර රේල් පාර ආසන්නයටම වැටුණි.
"නමුත්.... ඒ සුන්දර මොහොත පැවතුනේ මිනිත්තු කිහිපයයි. ඒ මා ව්‍යාජයෙන් ඈ සතු යැයි සිතා සිත රවටා ගත් සුදුසුකම ඈ සතුව නොතිබූ නිසයි. ඒ දැක්මෙන් මා ඈගෙන් ඉවතට විසි වුනා. හරියට කවුරුන් හරි පිටි පස්සට ඇදල දැම්මා වගේ. මගේ ඔලුව හිරි වැටිල ගියා. තොල කට වේළී ගියා. මහත් අභිරුචියකින් ඈට සමීප වූ මාගේ ඉන්ද්‍රියයන් අප්‍රණික වෙලා ගියා. මාගේ දෑස් ඇගේ සුන්දර සිරුරත් මුහුණේ තිබූ අහිංසක බවත් දුටුවේ නැහැ. මට මාව පාලනය කර ගන්න බැරි උනා."
"මේ වෙනස දැක ඇයත් කලබල උනා. මට අසනීපයක් දැයි ඇය ඇසුවා. ඇගෙන් වරදක් සිදුවී දැයි ඇය ඇසුවා. මේ ප්‍රශ්න වලට මා ළඟ පිලිතුරු තිබුනේ නැහැ. ඇය මා නවතා ගන්නට බොහෝ ප්‍රයත්න දරද්දී මා ඇගෙන් වෙන් වී පැන ආවා."
මුහුදේ හඬ ද කෙමෙන් කෙමෙන් අඩු වූ සෙයකි. පරිසරයම නිහඬය. නිසල නිහඬ බව බිඳීමට බියෙන් මෙන් ඈත සිට පෙරළි පෙරළී එන රළ වෙරළ සමීපයේ දී සිය වේගය අඩු කොට ගල් පර අතරින් රිංගා යන්නේ පුලුන් වන් පෙණ පමණක් විසුරුවමිනි.
"මම දන්නවා ඒක මොන තරම් මෝඩ වැඩක් ද කියලා! සඳනිගේ කිසිම වැරැද්දක් නැතිව ඇයව තනි කර දමා ඒම ගැන මගේ හිත මට දොස් කියනවා. නමුත් මට ඇයත් එක්ක ජීවත් වෙන්න බැහැ."
"ඉතින්!" එතෙක් වේලා නිහඬව සිටි මම හඬ අවදි කළේ මගේ මිතුරා මුහුණ දී සිටින ගැටලුවේ බැරෑරුම්කම නිසා සිත තුළ ඉපදුනු ප්‍රශ්න වැලක ප්‍රතිඵලයක් විදිහටයි.
"ඉතින් එච්චරයි! මම උඹට මුලින් නොකිව්වාට මේ සිද්ධිය සිද්ධ උනේ පැය කිහිපයකට කලින්. ඊයේ රෑ තම අපේ මඟුල් උත්සවය අර පේන හෝටලයේ දී පැවැත්වුණේ. සඳනි මේ දැනුත් මා සොයමින් සිටිනවා ඇති!"
දයාගෙන් සිදු වූ වරද නිවැරදි කරන්නට තවමත් කල් ඇති බවත්, සඳනි දැන් ඔහුගේ බිරිඳ බවත් , කුමන පදනමකින්වත් ඇය දමා පලා යාම අනුමත කළ නොහැකි බවත් මම දයාට දීර්ඝ වශයෙන් පැහැදිලි කළෙමි. දැන්ම ඇය වෙත යාමට ඔහු සමඟ මා ද සූදානම් බව මා පැවසූයේ දයා තනිව මෙහි දමා යාමේ අන්තරාය ගැන සිහි වූ නිසයි.
ලී පටි ගසා සකස් කර තිබූ දිග ඇඳි පුටුවේ කෙළවර හිඳ දෙපා මත දෑත් තබා ගෙන හිස දෑත් අග රඳවා දයා සියල්ල සාවධානව අසා සිටියේය. ඔහුගේ දෑස් පියවී ගොස් තිබිණි. අන් කිසිවෙකුගේ උපදෙස් පිලිනොපදින දයා මා කියන්න පිලිගත්තාද?
දුම්රිය පල ඇතුළු වීමේ දොරටුවෙන් කිහිප දෙනෙකු එකවර ඇතුළු වූ බව ඔවුන්ගේ පාවහන් ???? ??? ?? බිමෙහි ගැටෙන හඬින් ඇසේ. ඈත මුහුදේ සඳ එලිය වැටීමෙන් ආලෝක වූ දිය රල දිලිසෙන්නේ අමුතුම චමත්කාරයක් ජනිත කරවමිනි. මම ක්ෂිතිජය දෙස බලා සිටියෙමි.
ඈතින් ඇසුණු පාවහන් ගැටෙන හඬ අප සිටි කෙලවර බංකු පේළිය වෙතට ළං ළංව ඇසෙද්දී මම හිස ඔසවා බැලීමි. කලබලයට පත් වූ ඉරියව් වලින් යුතු සුන්දර තරුණ කාන්තවක් හොඳින් ඇඳ පැළඳ ගත් මැදිවියේ පිරිමියෙකු සමඟ වේගයෙන් අප දෙසට දිව එන්නට වූහ. මම හිඳ සිටි බංකුවෙන් නැගිට්ටෙමි. කඳුළු පිරි දෑසින් යුතුව දයා ඉදිරියෙහි නතර වූ ඇය ඒ මොහොතේදීත් දෑස් පියා ධ්‍යානයකට සම වැදී සිටි ඔහුගේ දෑතින් අල්ලා ඔහු අවදි කළාය. දයා හිස ඔසවා ඈ දෙස බැලූයේ පුදුමයෙනි.
"දෙවනි වේදිකාවේ නවත්වන මාතර බලා යන තැපැල් දුම්රිය...." ඒ මා බලාපොරොත්තුවෙන් සිටි දුම්රියයි.
එකෙනෙහිම දයා හිස නැවතත් බිමට හරවා ගත්තේ ලජ්ජාවෙන් මෙනි. සැකයක් නැත. මේ සඳනි විය යුතුය. සිහින් උස අතිශය පැහැපත් සිරුරකට හිමිකම් කියූ ඇය දයා විස්තර කළාටත් වඩා සුන්දර අහිංසක මුහුණකට උරුමකම් කීවාය. සඳනි දයා දෙස බලා ඔහු දෙකොපුලින් දෑතම තබා හිස එසවූවාය. දයා දෑස් හැර සඳනි දෙස බලා සිටියේ සිදු වූදේ වචන වලින් කීමට බැරි නිසා යැයි මට සිතුණි. සඳනි සමඟ පැමිණි මැදිවියේ පුද්ගලයා පසෙකට වී බලා සිටියි. ඒ ඔවුන් නැවතී සිටි හෝටලයේ නිලධාරියෙකු විය යුතුය.
දුම්රිය මාර්ගයේ දැල්වෙමින් තිබුණු රතු සංඥාව මොහොතකින් කොළ පාටින් දැල්විණි. ඈතින් එන දුම්රියෙහි විදුලි ලාම්පු එලිය ටිකෙන් ටික විශාලව පෙනුණි.
දයා වෙත මා කළ යුතු වූ උදව්ව තව දුරටත් අවශ්‍ය නොවේ. මම තවමත් නොදොඩා එකිනෙකා දෙස බලා සිටින ඔවුන්ගෙන් නිහඬවම සමු ගෙන දුම්රිය වේදිකාව දෙසට ඇදුණෙමි.
මම නැඟුණු පෙට්ටියට සඳනි සහ දයා සිටින තැන පෙනේ. ඔවුන් අප පෙර හිඳ සිටි ආසනයේ වාඩි වී සිටිනු මම දුටිමි. දුම්රිය පිටත් වන විටම දුම්රිය ස්ථානය අසළ තිබූ කොළ සංඥාව නැවතත් රතු පාටට හැරිණි. ඔවූහු මාගේ දර්ශන පථයෙන් ඉවත් වූයෙන් මම සඳ එලියෙන් දිදුලන ඈත මුහුදේ රළ අතරින් ක්ෂිතිජයට ඈස මෙහෙයවීමි.

0 comments:

Post a Comment

 

© Copyright සිතුවිලි . All Rights Reserved.

Designed by TemplateWorld and sponsored by SmashingMagazine

Blogger Template created by Deluxe Templates