පවිත්‍රා

මම...
අඩවන්ව තිබූ
ඈ නෙත් දෙස බැලීමි.
ඒවායේ මලානික බව
ඇගේ සුන්දරත්වය වඩවයි

සිහින් දිගු රතැඟිලි
ඇති දෑත්
මා සුරතට ගෙන
සෙමෙන් පිරිමැදීමි.
එහි සුමුදු බව
නැවුම් බවින් යුතු විය.

ඈතින් ඇසුනේ
පැරණි බට්ටා ඔරලෝසුවක
පැයක් හඟවන
බොල් හඬකි.

නිහඬ, නිසල
ඈ නෙතු යුගල දෙසට
ලංවූ මම
දීප්තිමත් දෑසත් සඟවන
ඈ දිගටි නෙතු පිය සිප ගතිමි.
ඇගේ ලැම පෙදෙසින් ආ
සමන් පිච්ච විලවුන් සුවඳට
එක් වූ
දහදිය සුවඳ
සිතට ගෙන ආවේ
පූර්ණ වූ කුල්මත් බවකි.

අවට පැතිරුණ
නිසල බවින්ද, නිහඬ බවින්ද
දිරිගත් මම,
ඇයට ආදරය කරන බව
පැවසීමි.

නිසලතාවය
තවත් දැඩි විය.

අඳුරු බිත්ති කොණකින්
නැඟි
හූනෙකුගේ හඬ ද
යටපත් කරමින්
ඇය
කොක් හඬලමින්
සිනාසීමට පටන් ගත්තාය.
ඇගේ දැසින්
කඳුළු වැගිරෙයි.

අන්දමන්ද වූ මම
ඈ දෙනෙතින්
දෑස් ඉවත් නොකරම
"ඈ මා හොඳින් දැන සිටි බවක්"
සිතා සිටි බව
කීමි.
ඈ මා
මා දෙසවත් නොබැලුවාය.

හති වැටීමෙන්දෝ
දුර්වල වූ
ඇගේ සිනහව නිසල විය.
ඇගේ ළැම වේගයෙන්
උස් පහත් වෙයි.

ඈ දෑස දෙස නොබලා
ඈ දෑතම බදා ගෙන
මම නැවතත්
මා ඇයට ආදරය කරන බව
පැවසීමි.

එය එතරම්ම
සැහැල්ලු විය, පහසු විය.

මොහොතකින්
නිසලතාවය බිඳ ගෙන
නැඟී ආවේ...
සිහින් ඉකි බිඳුමකි.
මා සුරතින්
දෑත් උදුරා ගත් ඇය
සිහින් දිගටි
රත් පැහැති මුහුණ
වසා ගත්තාය.

ඈ වෙතින්
ඉවත්ව එන තුරා
ඈ වචනයකුදු නොදෙඩුවාය.
පවිත්‍රා..
කඳුළු පිරි
රත් පැහැ දෑසින්
මා දෙස
බලා සිටියාය.

දිග කොරිඩෝව අවසන
වෙනදා පෙනෙන
දීප්තිමත් එළිය
අද නැත.
වැහි අඳුරින්
හාත්පස මලානිකය.

කදිම මුහුණක් ඇති
තරුණයෙක්
කවුන්ටරයේ හිඳින
තානායම් පල්ලා අමතයි.
"මෙන්න මෙයා හොඳයි
නම පවිත්‍රා නේද...?"

ප්‍රේමයෙන් පළි ගැනීම

ඇය මා දමා පලා ගියාය.
කොතෙක් වර ඈ හමු වුවද...
ඈ මා මග හැරියාය.
අද මා මුහුණට මුහුණ
මුණ ගැසුන හෙයින්
ඕ හට පලා යාමට නොහැකිය.

බොහෝ දුක් විඳිමින්
ඈගේ විරූපී දරුවා
රැක බලා ගනිමින් හුන් මම,
ඇගේ චපල කමින්
පළි ගන්නට සිතීමි.

ජනාකීර්ණ වීදියක් වෙත
ඇය ඇද ගෙන ගිය මම
සියලු දෙනා ඉදිරියේ
ඇයට අවමාන කරන්නට සිතීමි.
ඇය නිරුවත් කරන්නට සිතීමි.

ඇය ඇඳ සිටි සුන්දර කබා
ඉරා දැමුවෙමි.
ඇය ඊට මඳක් හෝ විරොධයක්
පළ නොකළාය.

ඇතුළත දුහුල් සළුවෙන්
වඩාත් අලංකාර වූ ඇය
නොවූ විරූ දඟකාරකමකින්
සිනාසෙන්නට පටන් ගත්තාය.

දුහුල් සළු කොණ
ඇඟිලි තුඩින් පටලවා ගත් මම
එය ඇද දැමීමට සැරසුණෙමි.
ඇය දෑත් ඔසවා
රමණීය ලෙසින් බමණය වෙමින්
මා කරන්නට ඉඩ දෙයි.
ඉන් වඩාත් දිරි ගත් මම
වැරයෙන් සළුව ඇදීමි.
තවත් ඇදීමි.
තව තවත් ඇදීමි.
එය නිමක් නොමැතිව ඇදේ!

මා උසින් යුතු සළු කන්දක්
ඉතිරි වීමෙනුදු
නිම නොවූ
මාගේ පළි ගැනීමේ ආශාව
ලජ්ජාවකට හැරුණේ
මොහොතකිනි.

ඇය නිසල සිනහව
නෙතඟ රඳවා
මා දෙසට ඇදෙයි

නැවතත් ඇගේ
සුන්දර සිනහවට,
දෙනෙතෙහි කාන්තියට
වසඟ වේ දෝයි බියෙන්...
මම දෙඇස් දෙකන් වසා ගතිමි.

අවටම සුවඳවත් කරමින්
මා අසළට ඇදී ආ ඇය
සියුමැලි ඇඟිලි තුඩගින්
මා හිස
සෙමෙන් පිරිමැද්දාය.

මා දැඩි සිත
වෙඬරු පිඬක් කිරීමට
ඇයට ගත වූයේ..
මොහොතකි.

ඈ දැක්මට මා තුළ හටගත්
ආශාව නිසාම
ඈ දෙසට හැරුණෙමි.

ඇගේ සුවඳ මුසු මඳ නළ
මා මත් කරවන සුළු විය.
ඇගේ දීප්තිමත් දෑස තුළින්
ගලන්නේ
ප්‍රේමයේ රසෝඝයයි...

එය තවත් අවසානයක් නොවීය...
ආරම්භයක්ම වීය.
 

© Copyright සිතුවිලි . All Rights Reserved.

Designed by TemplateWorld and sponsored by SmashingMagazine

Blogger Template created by Deluxe Templates